"නැගිටපන් දවල් වෙනකල් කුම්බකරණය වාගේ නිදා ගන්නෙ නැතිව. ගිහින් කුස්සියෙ වැඩක් කරපන්. යමන්."කුඩම්මා යක්ෂණියෙකු මෙන් කෑ ගසනු ඇසී මම ඉක්මණින් නැගිට එළියට ගියෙමි. මා මිදුලට බහිද්දී දරා ගත නොහැකි සීතලක් සමගින් සුළං හමා ගියේය. එනමුත් සීතලට හෝ උණුසුමට මා සතුව ඇත්තේ ඇදගෙන සිටි මදක් ඉරී ගිය ගවොම පමණකි. මට සුළගත් සසමග ද ඇති වූයේ තරහකි.
පෙර දින රැයෙහි හට ගත් ධාරානිපාත වර්ෂාව අද උදෑසන වන තෙක් ද හරිහැටි නතර වී නැත. කුඞා වැහි පොද සට පට ගා බිම පතිත වේ. මම වැස්සේම කෙදි ගෙවී පරණ වී ගිය බුරුසුව දත් අතර රුවා ගත්තෙමි. සිතිවිලි මගේ සිත මතට ගලා එන්නට තැත් කළද මම එය ආයාසයෙන් මැඞ ගතිමි. මා මුහුණ සෝදාගෙන ගෙට ඇතුලු වන විට කුඞම්මා ඇගේ කුඞා දියණියට කිරි පොවමින් සිටියාය. ඇය මා දෙස රවා බලා ඇයගේ වැඞිමල් දියණිය වන නදීකා බේබිට කිරි එකක් සදා දෙන්නැයි අණ කළාය. මම මුළුතැන්ගෙට ගොස් කිරි කෝප්පයක් සාදා ගෙනැවිත් නදීකා බේබිගේ කාමරයට ගියෙමි. මා එහි යන විට ඈ ඉතා අලංකාර ගවුමකින් සැරසී කණ්නාඞිය අසලට වී සිටියාය. මම ඇය දෙස බලා සිනා සුනෙමි.
" මොකද ඔතන හිනා වෙවී කරන්නෙ. ඕක පැත්තකින් තියල මගෙ කොණ්ඞෙ පීරපන්." යැයි ඇය මගේ ඇගට කඞා පැන්නාය. මම වහා ඇයගේ කොණ්ඞය පීරන්නට පටන් ගතිමි. ඒ අතර වාරයේ කුඞම්මා පැමිණ " මොකද උඹ ඔතන කරන්නෙ? ගිහින් උයපන්. අපි උදේට කන්නෙ නැද්ද?" යි කියමින් බැණ වැදුණාය. මම කාමරයෙන් පිට වී මුළුතැන්ගෙට ගියෙමි. මෙතෙක් වේලා උගුරේ හිරවී තිබූ ඉකිය එළියට ආවේය. කදුලු සමගින් සිතෙහි රග දීමට වෙර දරන අතීතයේ නටබුන් පලවා හැරීමට මා ගත් උත්සාහය නිශ්ඵල විය. ඒ අතරින් මම ඉකි ගසා හැඞුවෙමි.
මගේ අම්මාට හා තාත්තාට සිටියේ මා පමණකි. ඔවුහු මුළු ලොවටම වඞා මට ආදරය කළහ. අම්මාගේ හා තාත්තාගේ එකම බලාපොරොත්තුව වූයේ මට හොදින් ඉගැන්වීමය. කප්පරක් උසට ඔවුහු මා පිළිබද බලාපොරොත්තු තබාගෙන සිටියහ. සාමයෙන් පිරි පුංචි කැදැල්ලෙහි අපි බොහෝ සතුටින් කල් ගෙව්වෙමු. එහෙත් එන්න එන්නම අගහිගකම් වැඞි විය. කිරීමට වෙනත් කිසිදු දෙයක් නොමැති වූ තැන අම්මා කාලීන ක්‍රියාමාර්ගය ගැනීමට පසුබට නොවුනාය. එනම් ඇය විදෙස් ගත වීමට තීරණය කිරීමයි. අම්මා රට යන විට මගේ වයස අවුරුදු හයක් පමණ විය. මා සිඹ සනහා ඇය දුරස් වී ගියාය.
එදා අම්මාගේ දුරස් වීම මට එතරම්ම නොදැණුණි. ඒ තාත්තා මට පියෙකු මෙන්ම මවකද වූ බැවිනි. නමුදු මට අවුරුදු අටේ දී පමණ තාත්තා ලිපියක් කියවමින් හඞා වැටුණි. ඔහුගේ මුහුණ ශෝකයෙන් මැල වී තිබිණ. තාත්තා මා බදාගෙන හැඞුවේය. එහෙත් මම කිසිවක් ඇසුවේවත් ඇඩුවේවත් නැත.
එයින් අවුරුද්දක් පමණ ගිය පසු තාත්තාගේ නංගී එනම් මගේ නැන්දා අපේ නිවසට පැමිණ තාත්තා සමග බොහෝ වේලා කතා කරමින් සිටියාය. ඇය ආපසු යෑමට සැරසී " පොඩි එකීට යන කල දසාවකුත් තියෙන්න එපායැ" යි පවසමින් මගේ හිස අත ගෑවාය.
තවත් මාස දෙක තුනකින් පමණ පසු තාත්තා මා ළගට කැදවා "මගේ දුවට අම්මෙක් තාත්තා ගෙදරට ගේන්න යන්නෙ. මගෙ දූ කැමතියි නේද?." ඇසුවේය. එය ඇසෙත්ම මගේ සතුට නිම් හිම් නැති විය. " තාත්තෙ අම්මා යද්දි කියල ගිය බෝනික්කොයි සෙල්ලම් බඩුයි ගොඩාක් ගේනවද තාත්තෙ.?" මම ඇසුවෙමි. තාත්තා කිසිත් නොකියා මගේ හිස අත ගෑවේය.
ඉන් දින දෙකකට පමණ පසු අසල් වැසි නිවෙස් වල අය ද අපගේ නෑ පිරිසද අපගේ නිවසට පැමිණ සරසන්නටත් නොයෙක් කැවිලි පෙවිලි සාදන්නටත් පටන් ගත්හ. තාත්තාද වෙනදා නැති සතුටකින් යහළුවන් සමග අල්ලාප සල්ලාපයේ යෙදුණි. මගේ යහළුවන් සමග මම සෙල්ලම් කළෙමි. අපි එහා මෙහා දුව පැන සිටියද මගේ සිත තිබුනේ අම්මා ළගය. හෙට දිනය උදා වන තුරු මට ඉවසිල්ලක් නොවීය.
පසු දින මම පාන්දර නැගිටින විටත් තාත්තාද නැන්දලා මාමලාද නැගිට කිරිබත් සාදා ඉතිරි වී තිබූ වැඩද අවසන් කර තිබුණි. මම නැගිට කුස්සියට ගියෙමි. එවිට චූටි නැන්දා " දුව ගිහින් මූණ හෝදගෙන තේ බොන්නකො. ලස්සන ගවුමක් දාලා අම්මව එක්කන් එන්නත් තියෙනවනෙ. " යි පැවසීය. මම උගුරට දෙකට තේ එක බී එළියට දිව්වෙමි.
දහවල් වන විට එකා දෙන්නාගෙන් අපගේ නිවස පිරුණි. නොබෝ වේලාවකින් අම්මාව එක්කරගෙන ඒමට ගිය මෝටර් රථය ද ඊට පිටුපසින් වෑන් රියක් ද පැමිණියේය. මගේ රත්තරන් අම්මා, අවුරුදු ගණනාවකින් නොදුටු ඒ කරුණාබරිත ඇස් දෙක, ' මගේ චූටි දෝණි' යැයි ඇමතූ ඒ කට හඩ, ඒ සියල්ලම බලාපොරොත්තුවෙන් මම මගේ අම්මා පිළිගැනීමට මෝටර් රථය නතර කරන විටම ඉදිරියට දිව ගියෙමි. එහෙත් ඒ මාගේ බලාපොරොත්තුව නොවුණ වග මට හැගී ගියේ නිමේෂයකිනි. සුරංගනාවියක් මෙන් සැරසී මල් පොකුරක් ද අතැතිව තාත්තා අසලින්ම පැමිණෙන්නේ මගේ අම්මා නොවේ. මා දුටු විගස මා බදාගෙන හඩතැයි සිතූ මගේ අම්මා නොවේ. මා ඇය දෙස බැලුවද ඇය ගොළු වූ එකියක මෙන් බිම බලාගෙනම ගියාය. පිටුපස වූ වෑන් රියේ ද තිබුණේ මා සිතූ පරිදි අම්මා ගෙනෙනවා යැයි කියු බෝනික්කන් වත් කාර් වත් නොවේ. කිසිසේත්ම මාගේ සිත් නොගත් අල්මාරි පෙට්ටගම්ය.
සියළු බලාපොරොත්තු කළු ගලක හැපුණු වීදුරු බදුනක් මෙන් විය. මට දරා ගත නොහැකි තරම් වේදනාවක් දැණුණි. අනෙක් සියලන්ම සතුටින් ඉපිලෙද්දී අවිනිශ්චිත බලාපොරොත්තුවකින් මම පසෙකට වී සිටියෙමි.
එදින පටන් අවුරුද්දක් පමණ යන තුරු කුඩම්මා මට ආදරය කළාය. සැළකුවාය. නමුත් ඇය පළමු දරුවා ලැබුණු පසු මට තිබූ ආදරය සැළකිල්ල නොදැනුවත්වම ඇය කෙරෙන් පලා ගියාය. රෝස පැහැති කම්මුල් ඇති ඒ පුංචි දරුවා ගැහැණු දරුවෙකි. කිරි සුවද නිවෙස අරක් ගද්දී තාත්තාටද ඇයගෙන් තොර ලොවක් නොවුණි. ඔහු මෙතෙක් කල් ආදරයෙන් හදා වඩා ගත් ඔහුගේම ලෙයින් සුසැදි නිලූ, ඔහුගේ රත්තරන් චූටි දුව ඔහුට අද අමතකව ඇත. කුඩම්මාගේ දුව දැන් මගේ නංගීය. ඇගේ නම නදීකා ය. එහෙත් කුඩම්මාට දෙවෙනි දරුවාද ලැබුණු පසු මට ඔවුන් දෙදෙනාම නැගණියෝ නොවෙති. නදීකා බේබි සහ නිෂා බේබිය.
" නිලූ මොකද උඹ ඔතන ගල් ගිලලා වගේ බලාගෙන ඉන්නෙ." ඒ රාක්ෂ හඩ ඇසී මම තිගැස්සී පසුපස බැලුවෙමි. කුඩම්මාගේ රුදුරු ඇස් වලින් ගිනි ජාලා පිට වන්නාක් මෙනි. "තවම වළදක් අල්ලලාවත් නෑනෙ. තෝ හිතුවද මේ ගෙදර ඉන්නෙ සත්තු කියල. අපි තියෙන ඒවා අමුවෙන් කන්නද? නැත්නම් බඩගින්නෙ ඉන්නද? මෙතන මාස දෙකේ බබා වගේ කදුලු වගුරවන්නෙ නැතිව දැන්වත් වැඩක් කරපන්. ඔය එක එකා නළවන්න මෙහෙ කවුරුත් නෑ." ඇය තොර තෝංචියක් නැතිව මට කෑ ගසන්නට විය. මම බිම බලාගෙන සිටියෙමි. ඇය පැමිණ මගේ කොණ්ඩෙන් අල්ලා තල්ලු කර
"අනෙක් පාර එද්දී උයල තිබුණෙ නැත්නම් උඹට කරන දේ මම බලා ගන්නම්." යැයි කෑ ගැසුවාය. මම විසිවී ගොස් බිත්තියේ හැපුනෙමි.
ඇය කියන්නේ සැබෑවකි. මා කොපමණ හැඩුවද මගේ කදුලු පිසීමටවත් මා නැළවීමටවත් කිසිවෙකු මෙහි නැත. මා නැළවීමට තබා ආදරයෙන් මා දෙස බැලීමටවත් කිසිවෙකු මෙහි නැත. කමක් නැත. ධෛවය මෙය නම් මම විදවන්නෙමි. මම කෑම පිස ඉතිරි වැඩ ටික ද අවසන් කළෙමි.
උදෑසන සිට වැඩ කිරීමෙන් බොහෝ වෙහෙසට පත් වී සිටි මම සවස ඇග සෝදා බුදුන් වැන්දෙමි. ඒ කරුණා ගුණය පිරී ඉතිරී යන නේත්‍රා දෙස බලා මා පැතුවේ එකම පැතුමකි. ඒ මා වැටී සිටින මේ නරා වලින් කෙසේ හෝ මට ගැලවීමට හැකිවේවා යි යන්නය. එහෙත් ඒ නේත්‍රා වල පිළිතුර වූයේ අටලෝ දහම පිළිගැනීමය. එය සැබෑවකි. මම ද එය පිළි ගනිමි. උන්වහන්සේට ගෞරව කරමි.
මෙදින මෙතරම් මහන්සි දැනුණේ පාසල් නිවාඩු දිනයක් වූ බැවිනි. කුඩම්මා හා තාත්තා මට කොතෙක් කෙනෙහිලිකම් කළද මගේ පෙර පිනක් නිසාදෝ තාත්තා මට පාසල් යෑමට අවසර දී ඇත. නදීකා බේබි සහ නිෂා බේබි නගරයේ පිළිගත් පාසලකට යති. මම ගමේ ඇති පාසලෙන් ඉගෙනුම ලබමි. ලබන වසරේ සා/පෙළ විභාගයට පෙනී සිටින බැවින් මම වෙනදාටත් වඩා මහන්සි වී පාඩම් කළෙමි. කොතෙකුත් බාධක කම් කටොලු තිබුණද මගේ අම්මා බලාපොරොත්තු වූ දෙය ඉටු කිරීම මගේ අභිමතාර්ථයයි. ඇයට සිදු වූයේ කුමක් දැයි මම නොදනිමි. විටෙක මා පාඩම් කරන විට කුඩම්මා මට තරහින් බැණ වැදුණාය. මම අනන්තවත් ගුටි කෑවෙමි. ඇය කැමති වූයේ ඇයගේ දරුවන් පමණක් ඉගෙන ගන්නවා දැකීමය. ඇයගේ දරුවන්ගේ දියුණුව පමණක් දැකීමටය. නදීකා බේබි ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතය. කුඩම්මා ඇයව ළගට ගෙන ඉතා ආදරයෙන් පාසල් වැඩ කියා දෙන්නීය. එහෙත් නදිකා බේබිද කුඩම්මා ගේම ගතිගුණ පිහිටා ඇති ගල් හිතක් ඇත්තියෙකු මෙන් මට හැගේ. මන්ද ඇයත් මට සෑම විටම වෙනස්කම් කළාය. විටෙක මගේ පොත් පෑන් එහා මෙහා විසී කළාය. එසේත් නැත්නම් ඇය ළග ඇති වටිනා දේවල් පෙන්වමින් නොයෙක් විහිළු කරමින් මගේ සිත රිදවයි. එවැනි අවස්ථා වල මා පැය ගණන් හඩා වැළපුණේ ධෛවයේ සරදමට ලක් වූ බැවිනි.
නදීකා බේබි ශිෂ්‍යත්ව විභාගයට යන දිනය එළඹිණි. කුඩම්මා උදෑසනින්ම අවදි වී සිටී.
" උඹ රැයක් දවාලක් නැතිව ඔය පොත් ගොඩේ ඔළුව ගහගෙන ඉන්නෙ ගෙදර කිසිම වැඩක් කරන්නෙ නෑ. මම තනියම මෙතන මැරෙන්න ඕනි. උඹට වෙන වැඩ නැද්ද? මෙහෙ වරෙන් ඇවිත් මට මේ කිරිබත් ටික හදන්න උදව් වෙයන්. " කුඩම්මා කෑ ගසනු ඇසුණේ මම පාඩම් කරමින් සිටිනා බැව් ඇය දුටු හෙයිනි. මා කෙතරම් වැඩ කළද ඇයට ඇති වූයේ නැත. මා කරන වැඩක් දුටුවේද නැත. ඔවුහු කියන කරන දෙයක් ඉවසීම හැර මට කිරීමට අන් කිසිදු දෙයක් නැත. මම පොත වසා තබා කුස්සියට ගොස් කුඩම්මාට උදව් කළෙමි. කුඩම්මා අතින් ලකලැහැස්ති වුණු නදීකා බේබිට කුඩම්මා සහ තාත්තා කිරිබත් කැව්වෝය. ඇය ඔවුන් දෙදෙනාගේ දෙපා නමදින විට ඔවුහු ඇයට ආශිර්වාද කර මුහුණ සිප ගත්හ. ඉන්පසු කුඩම්මාත් සමග වෑන් රියට නැංගාය. මම ද ඉතිරි වැඩ අවසන් කර පාසල් ගියෙමි.
කෙමින් කෙමින් නොව කාලය ඉතා වේගයෙන් ඉගිළ යමින් පැවතුණි. මගේ විභාගය අත ළගටම පැමිණ තිබේ. පන්තියේ අනෙක් ළමුන් සියළු දෙනාම අතිරේක පන්ති සදහා සහභාගි වේ. එහෙත් එම වාසනාව මට නැත. කෙසේ නමුදු පාසලෙන් උගන් වන දෑ හොදින් ඉගෙන ගනිමි. මට අතිරේක පන්ති අවශ්‍ය නැත. ඒ සදහා මා වෙනුවෙන් මුදල් වැය කිරීමටද කිසිවෙකු නැත. කමක් නැත. කෙසේ හෝ විභාගය සමත් වෙමි.
විභාගයට තවත් ඇත්තේ දින කිහිපයක් බැවින් දවල්ට ගෙදර සියළුම වැඩ අවසන් කර රාත්‍රීයේ දී පාඩම් කළෙමි. කෙසේ හෝ විභාගය පැවැත්වෙන දින එළඹුණි. නදිකා බේබිලාට මෙන් කිරිබත් සාදා දෙන්නට හෝ දෙපා නැමැද ආශිර්වාද ලබා ගැනීමට මට කිසිවෙකු නැත. 'රත්තරන් දුව' යැයි ඇමතූ තාත්තා, එදා පුංචි දෑත් එක්කර තාත්තාගේ දෙපා නැමදූ දුවට අද ඒ දෙපා හිමි නැත. වෙනදා මෙන්ම අද ද කරුණා ගුණය පිරී ඉතිරී යන නේත්‍රා දෙස බලා බුදු පියාණන් අභියස දණ ගසා වැන්දෙමි. උන් වහන්සේගේ ආශිර්වාදය මට නිරතුරුවම ලැබෙනු ඇත.
විභාගය අවසන් වූවායින් පසු ප්‍රතිඵල ලැබෙන තුරු නිවසට වී සිටීමට සිදු වූ කාලය දුෂ්කරම කාලයක් විය. කුඩම්මාගේ රැවුම් ගෙරවුම් වලින් පිරි අවධානය මා වෙතට වැඩිපුර නැඹුරු වී ඇති හෙයිනි. ඒ අවදියේ දී දිනක් තාත්තා ගෙට ගොඩ වූයේ ශෝකයෙන් මුහුණ බෙරි කර ගෙනය. " අපේ දුට හොද ප්‍රතිඵල තියෙනවා නේද?" යි අසමින් කුඩම්මා ඉදිරියට පැමිණියද ඇගේ සිනා මුසු මුහුණ අදුරු වූයේ තාත්තාගේ මුහුණ දැකීමෙනි. "නැහැ නදීකාගේ ප්‍රතිඵල හොදටම අඩුයි. එයා විභාගෙ ෆේල්. " තාත්තා තරහින් පැවසුවේය.
මම කුස්සියේ බංකුව උඩට වී පොතක් බලමින් එදෙස බලා සිටියෙමි.කුඩම්මා යක්ෂාවේශයෙන් මා වෙතට පැමිණියාය. මම ගල් ගැසී බලා සිටියෙමි. "උඹට වෙන වැඩක් නෑ. පොතක් අතේ තියාගෙන ඉන්නව ඇරෙන්න. මෙහෙ දීපන් ඔය පොත. "කුඩම්මා මගේ අතින් පොත උදුරාගෙන ජනේලයෙන් පිටතට වීසි කළාය. දරා ගත නොහැකි වේදනාවක් මට දැනුණි. මා මටත් වඩා පොත් වලට ආදරය කළෙමි. ගෞරව කළෙමි.
"මේ ගෙදරටම ගහල තියෙන්නෙ උඹේ මූසලකම. ඒ නිසා තමයි මගේ දරුවත් විභාගෙ ෆේල් වුණේ. අද මම උඹට බත් ඇටයක් කන්න දෙන්නෙ නෑ. යමන් ගිහින් ඕන තැනකින් කාපන්. ඉතින් යමන් මගේ දෑහට නොපෙනි." යි කුඩම්මා යටි ගිරියෙන් කෑ ගසමින් මගේ කම්මුල් දෙපැත්තටම ගැසුවාය. මම බිරාන්ත වී ඇය දෙස බලා සිටියෙමි.
එහෙත් ඇය කියූ එක වචනයක් හදවත පත්ලටම කිදා බසින හීයක් මෙන් මගේ සිතෙහි තැන්පත් විය. මෙම නිවසට බලපා ඇත්තේ මූසලකම යැයි ඇය කියන්නේ කෙසේද? ඇගේ දියණිය විභාගය අසමත් වූයේ මා නිසා වන්නේ කෙසේද? මට මේ කිසිදු දෙයක් නොතේරේ. එහෙත් කුඩම්මා ඇගේ දියණිය සමග තිබූ තරහව පා කර හැරියේ මා මගිනි. සිතෙහි තිබූ වේදනාව පහව යන තෙක්ම හැඩිමි.
කාලය ගෙවී යන විට මගේ විභාගයේ ප්‍රතිඵලද නිකුත් විය. මා විශිෂ්ඨ සාමාර්ථ සහිතව සමත් වී තිබුණි. මගේ හදවතෙහි ඇති වූ සතුට නිම් හිම් නැති විය. එහෙත් දුකක් හෝ සතුටක් මා තනිවම විදගන්නවා මිසක මට එය පැවසීමට කිසිවෙකු නැත.මගේ අම්මා මා ළග සිටියා නම් සතුටු කදුළු වැගිරෙන නිල් දෙනයන දෙස බලා සිනාසෙන්නට තිබිණි. එහෙත් ඒ වාසනාව මට නැත.
මා විභාගය සමත් වූ පසු කුඩම්මා තුළ මා කෙරෙහි තිබූ වෛරය තවත් දලු ලා වැඩෙන්නට විය. ඇය පෙරටත් වඩා නපුරු වූවාය. මා උ/පෙළ දක්වා වත් ඉගෙන ගන්නවාට ඈ කැමති වූයේ නැත. කෙසේ හෝ මගේ පාසල් ගමන නතර විණි. අවසානයේ කුඩම්මා මා ගෙදර තබා ගැනීමටවත් අකමැති විය. කුඩම්මාත් තාත්තාත් නිතරම පාහේ කතා කළේ ඔවුනට හිසරදයක් වූ මා නිවසින් පිටමං කිරීම පිළිබදව බැව් මට දැනී තිබිණ.
දිනක් අවුරුදු හතලිහක පමණ පෙනුමැති කාන්තාවක් අපගේ නිවසේ ආලින්දයේ වාඩි වී සිටියාය. ඇගටම හිර වුණු සුදු පැහැති කලිසමකින් සහ කර පළල් වූ රතු පැහැති බ්ලවුසයක් හැද සිටි ඇය කොණ්ඩය ගෙලට වැටෙන සේ කපා තිබුණි. ඕනෑවටත් වඩා වත්සුණු තැවරූ ඇයගේ මුහුණින් පිළිඹිබු වූයේ සැබෑ වයස සැගවීමට ගත් අසාර්ථක උත්සාහයකි. සිහින් සිනාවකින් ඇගේ වත සැරසී තිබුණි. ඇයට ඉදිරිපසින් තාත්තා හා කුඩම්මා අසුන්ගෙන සිටියහ.
" නිලූ පුතේ මේ නෝනට තේ එකක් හදාගෙන එන්න එන්න." යි තාත්තා මට පැවසීය. ටිකෙන් ටික මගෙන් ඈත් වී වඩාත් නිහඩ පුද්ගලයෙකු වූ තාත්තාගෙන් මා එවැනි ආදරණීය බසක් ඇසුවේ වසර ගණනාවකට පසුවය. මගේ දෑස් තෙත් විය. මා තේ කෝප්පයක් සාදාගෙන අමුත්තිය වෙතට ගියෙමි. කුඩම්මාට යමක් පවසමින් සිටි ඇය මා පිරිනැමූ තේ කෝප්පය ගත්තේ සිනහවෙන් යුතුවම මගේ පාදාන්තයේ සිට විමසිල්ලෙන් බලමිනි. "දූ හරි ලස්සනයිනෙ." ඇය එය කීවාද නැතහොත් ඉබේ කියවුණාද කියා මම නොදත්තෙමි. සිනාවක් පා මම කාමරයට ගියෙමි. මම කැඩපත ඉදිරියේ සිට ගතිමි. ඇය මා ලස්සනයි කියූ විදියට මට ලැජ්ජාවකුත් ආඩම්බරයකුත් දැනී තිබිණ. උසට සරිලන මහතකින් ද මනා පැහැපත් බවකින්ද යුතු මට ලස්සනයි කියා ඇත්තේ දෙතුන් දෙනෙකු නොවේ. මා අම්මාගේම කපාපු පළුවකැයි බොහෝ දෙනා කියා ඇත. මේ නිවසේ කිසිවෙකුත් මා තරම් ලස්සන නොමැති බවද මම දනිමි. කැඩපතෙහි ඇති රුව සමග මම සිනාසුණෙමි.
එදින හවස, උදේ පැමිණ සිටියේ ළමා නිවාසයක පාලිකාව බවත් තව දින දෙකකින් ඇයත් සමග මටද එහි යන්නට වන බවත් මා දැන ගත්තේ තාත්තාගෙනි. ඒ මන්දැයි මම නොඇසිමි. මුළු ලොවම දෙපා අභියස කඩා වැටුණාක් බදු හැගීමක් මසිත වෙලා ගත්තාය. මම සිතෙහි දුක කදුළු බවට පත් කළෙමි. එහෙත් මා නතර කර ගැනීමට කිසිවෙකු මෙහි නැත. කුඩම්මාගෙන් සිදුවන දුක් ගැහැට නිමාවට පත් වන හෙයින් මම හිත හදා ගතිමි.
මිදුලේ නතර කර තිබූ කලු පැහැති වෑන් රියට නැගීමට පය පැටලුණද මා සිත හදාගෙන තිබුණි. "තා..ත්තෙ මම.. යන්..නම්" අමාරුවෙන් මම වචන ටික ඇහිද ගතිමි. ඉවත බලාගත් ඔහු මුනිවත රැක්කේය. ඒ මුහුණේ කිසිදු හැගීමක් මට වෙන් කර හදුනා ගත නොහැකි විය. කුඩම්මාද දියණියන් ද මදෙස බලා සිටියේ මන්දස්මිතියකින් යුතුවය. "අපි යමු" ලාලිත්‍යකින් යුතු ඒ හඩ මට ඇසුණේ කුමන දිසාවකින්දැයි මට නොදැනිණි. බොද වී යන නිවෙසත් වට පිටාවත් දෙස රිය කවුළුවෙන් මා බලා සිටියේ වල දැමීමට ගෙන යන මවක දෙස බලා සිටින දරුවකුගේ හැගීමෙනි.
දීර්ඝ වූ ගමනාන්තයකින් පසු අප පිවිසියේ තාප්ප වලින් වට වූ සුවිසල් මැදුරකටය. බැලූ බැල්මට මෙය ළමා නිවාසයක් නොවන බව මට හැගුණි. "ගිහින් ඇදුම් මාරු කර ගන්න." රුවැති ළදක් මා ඉදිරියෙහි විය. ඇය අතෙහි අැදුම් කිහිපයක් විය. ඒ මා වෙනුවෙනි. "මේ කොහෙද?" මා පළමු ප්‍රශ්නය ඇසූයේ වෙව්ලන කට හඩිනි.
"ඔයාට ප්‍රශ්න අහන්න තහනම්." ඇය කියූයේ දෙතොල මත ඇගිල්ල තබමිනි. දෙවෙනි දිනයේ දී මා සිටින්නේ කොහිදැයි සක් සුදක් සේ මටම අවබෝධ කර ගත හැකි විය. එය කාන්තාවකට වැටිය හැකි එකම පාපකාරී අමු අපාය බව මට වැටහිණි. ලෙයින් මසින් සැදී වැඩී මව් කිරෙන්ම පෝෂණය වී තිබෙන කාමාදික පාපතරයන්ගේ ඉදුරන් පිනවීම සදහා මුළු ආත්මයම, ගරුත්වයම දෙපා පාමුල තබා පොඩි කර දැමීමට මට සිදු විය. එපමණක් නොව මත් කුඩු දුම් වැටි තුළින් ලබා ගන්නා වූ තාවකාලික ආශ්වාදය ලැබීමටද මා හුරු වුණේ මටත් නොදැනීමය. එදා තිබූ අහිංසකත්වය, ගුණදර්ම මටත් හොරා මා කෙරෙන් පැන ගියේය.
සියක් මිනිසුන්ගේ මිහිරි හැගුමන් අස්වසාලමින් දින සති ගෙවී ගියේය. දිනෙක පොලීසිය විසින් ඒ පාපකාරී නිවහන වැටලූයේ කිසිවෙකුත් නොසිතූ ලෙසිනි. ප්‍රධාන පාලිකාව සමගින් තරුණියන් දස දෙනෙකු පමණ අත් අඩංගුවට පත් විය. කූරු ගණින කුටිය තුළ මම ද විය.
බිත්ති තුනට මැදි වී ජීවිතය සොයන මා දුටුයේ හුරු පුරුදු රුවක් ඉදිරිපසින් සිටගෙන සිටින අයුරුයි. තලෙලු මුහුණැති හීන්දැරි සිරුරැති ඔහුගේ මුහුණින් දිස් වූයේ පරාජිත බවකි. සිර කුටිය අසලට පැමිණි ඔහු සෙවූයේ නිලූකා එදිරිසිංහ ය. මම කවුලු අතරින් ඔහු දෙස දෑස් දල්වා සිටියෙමි.
" තාත්තා" මගේ දෙතොල් විවර විය.
"මගෙ රත්තරන් දුවේ මට සමා වෙයන් මගෙ දුවේ." මගේ අත අල්ලාගත් ඒ මුවින් පිට වූයේ උන්මන්තක හඩකි. ඔහු මහා හඩින් හඩා වැළපුණේ සියලු නෙත් ඔහු දෙසට හරවා ගනිමිනි.
"ඇයි තාත්තෙ මට මෙහෙම වුණේ." වසර ගණනාවක් පිළිතුරු සෙවූ ප්‍රශ්නය මා ඔහු ඉදිරියේ දිගහැරියේ පිළිතුරු බලාපොරොත්තුවෙන් නොවේ. ඇසි පිය නොසලා මා දෙස බලා සිටි ඔහුගේ ඉකි ගැසීම තවත් උත්සන්න විය. වසන්තය අකාලයේ පැන ගිය මගේ ජීවිතය තුළින් එමොහොතේ මගේ සිතෙහි දුකක් සතුටක් හෝ වෙනයම් කිසිදු හැගීමක් ඇති නොවීය. මා හැඩුවේවත් සිනාසුනේවත් නැත. ආගන්තුක දෑසින් තාත්තා දෙස බලා හිදිමි.
ඔහු පොඩි වී ගිය කොලයක් මා අත තැබීය. මම එය දිග හැරීමි. එය මගේ අම්මා ලියූ ලිපියකි.
" සුගත් මම ආපහු ලංකාවට එන්නේ නැහැ. දුවත් බලාගෙන හොදින් ඉන්න." අවසන් වදන් පෙළ මසිත අරක් ගත්තේ අතීතයට මා ඔසවා තබාය.
මා ළමා අවදියේ දිනෙක තාත්තා මා බදාගෙන හැඩුයේ මේ ලිපිය කියවමින් බව මට පසක් වුණි. මම තවමත් මා දෙස බලා ඉකි බිදින තාත්තා දෙස බැලූයෙමි. මගේ තාත්තාගේ දෑසින් කියවෙන්නේ කුමක්ද?. මා දෑස් පියාගෙන බිත්තියට හේත්තු වූයෙමි.
මගේ තාත්තේ කවුරුන් නම් මා මේ තත්වයට ඇද දැමුයේ දැයි කිව හැකිද?. මගේ රත්තරන් අම්මේ, මට නිශ්චය කළ නොහැක. දස මසක් කුස දරා සිට ගැහැණියකගේ ජීවිතයේ ලබන්නා වූ උපරිම දුකද ඉන්පසු සතුටද එක්තැන් කොට මෙලොවට බිහි කර මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයෙන් සුසැදි ළය මඩලෙහි හොවාගෙන ඔබගේ රුධිරය කිරි බවට හරවා පෙවූ නුඹ ට, නුඹගේ රත්තරන් දියණියව අමතක කළ හැකි වූයේ කෙසේද?. තමාගේ මුළු ආත්මයම දියණි වරුන් හට පූජා කරන මව්වරුන් සිටින මෙවන් යුගයක මව්නි නුඹ මට කුරිරු වූයේ මන්ද?. එහෙත් මගේ රත්තරන් අම්මේ මම කිසිදාක නුඹට වෛර නොකරමි.
මගේ රත්තරන් තාත්තේ, ඔබේ ශරීරයේ විහිදී පවත්නා සෑම ලේ බිදුවක්ම රක්ත වර්ණයෙන් මගේ නහර පුරාද දුවන්නේය. ඔබගේ දියණියම, ඒ ලේ බිදුවම ඔබ විසින්ම රකුසාට බිලි දුන්නා නම්, මා කුඩම්මා සමග වෛර බැදගන්නේ කෙසේද?.
1 comments:
lassana kathawak....thanks to you..
Post a Comment