Ads 468x60px

Sunday, December 20, 2015

සීතල ආදරේ


"සුදු මැනික බත් කාලා යන්න." අම්මා කිව්වෙ මගෙ ඔලුව අතගාන ගමන්. 
                    "වෙලා යනවා අම්මා මම යනවා." යන්තමින් හිනා වෙලා මම පාරට බැස්සා. 
                   "අම්මා කරුණාකරලා ඔයා අර මිනිහගෙ කඩේට යන එක නවත්තන්න." හවස ගෙදර ආපු ගමන් මම අම්මට කෑ ගැහැව්වා. "රටේ ලෝකෙ වුන් කියන ඒවා මට අහන්න බෑ." 
             "කාටවත් ඕන විදියට වැඩ කරන්න රටේ වුන් මට කන්න අදින්න දෙන්නෙ නෑ. මට ඕන දේ මම කරන්නෙ" අම්මා සන්සුන්ව කිව්වා. "රටේ වුන් කියන ඒවා ඇත්ත නෙවෙයි. මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද." අම්මගෙ කට හඩ තාමත් තැන්පත්. 
         මට අම්මා ගැන දුක හිතුනා. කුලී වැඩ කරල මහන්සි වෙලා හවස ගෙදර ආපු අම්මට පිස්සු කතාවක් නිසා මම බොරුවට කෑ ගැහැව්වා. ඒත් "ඔයාලගෙ අම්මා හන්දියේ කඩේ මුදලාලි එක්ක අරලියා හෝටලේට යනවා මම දවස් තුන හතරක්ම දැක්කා." හන්දියේ ෆාමසියෙ කොල්ලගෙ කතාව මට ආයෙ ආයෙ ඇහුනා."නංගිලාගෙන් චාන්ස් එකක් අපටත් තියෙයිද?" මගෙ ඇග සීතල වෙලා ගියා ඒ මනමාල බැල්මට.කොට්ටෙ හයියෙන් බදාගෙන මම ඇසි පියා ගත්තා. මම දැක්කෙ නපුරුම හීනයක්. 
           "ඔයාගෙ නැති වුන පොත නංගා බස් එකේ තිබුනෙ." බස් එකේ ඩ්‍රයිවර් අයියා මට පොත දික් කළා. "තැන්ක් අයියෙ." මම පොත අතට ගත්තෙ ඒ ඇස් දිහා නොබලා. ඒ කොල්ලා මගෙ පස්සෙන් එන්නෙ මාස 3ක් තිස්සෙ. පන්ති ඇරිල යන්න තියෙන අවසාන බස් එක නිසා මේ වදකාරයාගෙ බස් එකටම නැග්ගෙ කැමැත්තෙන් නෙවෙයි. දනුෂ්ට ආදරේ කරන්න මට හිතුනෙ නෑ. එයා මැරයෙක් කියලා අම්මා මට කියලා තිබුනා. මම ටිකක් හරි කතා කළේ අම්මත් දනුෂ් ව අදුනන නිසා.
           "නංගො බස් එක යන්න තව පැය කාලක් විතර යනවා." පෝන් එකට ආපු මැසේජ් එක කියවලා මේක ආවෙ බස් කිව් එකෙන්වත්ද කියලා හිත හිතා වටපිට බලන‍ෙකාටයි මම දැක්කෙ දනුෂ්ගෙ ඇස් මගෙ දිහාට හැරිලා කියලා. මම ගස්සලා වගේ අහක බලා ගත්තා.
           "ආඩම්බර වෙන්න එපා නංගා අද ඔයා මගෙ වෙන දවස. හිනාවෙලා ඉන්න."ඒ පාර නම් මට ටිකක් බය හිතුනා. මූ මාව උස්සන්නවත් හදනවද. "හීනෙකින්වත් මම තමුසෙගෙ වෙන්නෑ." මම රිප්ලයි කළා. 
            "ඇත්ත කියන්නෙ නංගා ඔයාගෙ අම්මා ඔයාව මට දුන්නා."විකාර මැසේජ් නිසා මම ආයෙමත් ඔරවලා දනුෂ් දිහා බැලුවා. 
           දනුෂ් ඇවිත් මගෙ සීට් එකේම වාඩි වුණා. "මේ බලන්න" එයා මට දුන්නෙ එයාගෙ පෝන් එක.
          "දනුෂ් එයා මගෙ වැඩ වලට බාදාවක්. මට ඕන රුපියල් 20000ක් විතරයි...." තවත් දිගට මැසේජ් එක තිබුනත් ඒක එවලා තිබුනෙ මගෙ අම්මගෙ නම්බර් එකෙන් නිසා මාව කැරකෙන්න ගත්තා. දනෂ්වත් තල්ලු කරගෙන මම බස් එකෙන් බැහැලා දිව්වෙ වේගෙන් එන ලොරියක් ඉස්සරහට. ඒත් ලොරියට කලින් දනුෂ් ඉස්සර වුණා. ඒ අත් දෙකට මාව හිරවෙලා ඉද්දි මම කෑ ගැහුවෙ "මට මොකුත් කරන්න එපා"කියලා. දනුෂ් මාව තල්ලු කරලා දැම්මෙ කාර් එකක් ඇතුලට. අසරණ කමේ පතුලටම වැටිලා මම දනුෂ් දිහා බලාගෙන හිටියා.
         "මේ අහන්න" දනුෂ් මගේ අතින් අල්ල ගත්තා."ඔයා මම කියන විදියට වැඩේ කරන්න එයා මගෙ දරුවනෙ." ඒ මගෙ ආදර අම්මගෙ කටහඩ.මට ඇහුණෙ එච්චරයි. දනුෂ් පෝන් එක ඕෆ් කළා.
           "දැක්ක දා ඉදන් ඔය ඇස් දෙකට මම ආදරේ කළේ පිස්සෙක් වගේ. ඔයාගෙ අම්මට මම දුන්නෙ හිස් චෙක් එකක්. ඔයාගෙ වටිනාකම මිල කරන්න මට බැරි නිසා.මම දැන් යන්නෙ ඔයාව කසාද බැදලා හැමදාටම මගේම කරගන්න. අපේ අම්මලත් දැන් එතෙන්ට ඇවිත් ඉන්නෙ. දැන් වත් ඔයා මට ආදරෙයිද නංගො.?" දනුෂ් මගෙ ඇස් දිහා බලාගෙන හිටියා. ඒ පපුවෙ ඔලුව තියාගෙන මම ඇති තරම් ඇඩුවා.
        "බබා" සීතල අතක් මගෙ නලලෙ වදිද්දි මම ඇස් ඇරියා. ආදරෙන් මා දිහා බලාගෙන මගෙ ඔලුව අතගගා ඉන්න දනුෂ් ව  දකිද්දියි මට දැනුණෙ ඒක හීනයක් නෙවෙයි කියලා. "දෙවියො මට ඔයාව දුන්නෙ මේ විදියට බබා" දනුෂ් මගෙ නලල ඉම්බෙ ආදරෙන්. මම ඒ පපුවට තුරුලු වුනේ පුංචි හිනාවකුත් එක්ක.

1 comments:

Unknown said...

ලස්සන බ්ලොග් එකක්. මටත් මගේ බ්ලොග් එක මේ වගේ හදාගන්න හැටි කියලා දෙන්න පුලුවන්ද?ලොකු උදව්වක් කොමෙන්ට් එකක් විදියට හරි,
නැත්නම් අලුත් පෝස්ට් එකක් ලියන්න මේ ගැන දැන ගන්න ගොඩක් ආස ගොඩක් අය ඉන්නවා..

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න