Ads 468x60px

Saturday, April 11, 2015

Anka Hathe Wasanawa

                                   දුම්රිය නැවතුම්පල නොසන්සුන්ය.
වේලාව හය පසුවී පැය කාලකුත් ඉකුත්ව ගොස් තිබිණි. වයසට ගිය තරුණයා තමාට සුපුරුදු බංකුවේ වාඩි වී සිටියේ සන්සුන්වය. තවමත් තමාට අවැසි වේලාව පැමිණ නැත.


                                   "ආ මම හිතුවා අද  තමුසෙ මෙතන ඉන්නව ඇති කියලා. මොකද අද හත් වෙනිදනෙ." විජේවීර ඇසුවේ තම මිත්‍රයා අසලින් අසුන් ගනිමිනි.
                                   " ආහ්.. ඔව් විජේ අද හත් වෙනිද විතරක් නෙවෙයි හත් වෙනි මාසෙ හත් වෙනිදා." සතුට ඔහුගේ මුලු මුහුණ ම අරක් ගෙන සිටී.
                                   "හරි තමුසෙට අද දවස හොදටම විශ්වාසද?" විජේවීර තම මිත්‍රයා දෙස නෙත් කොනින් බැලුවේ සැකයෙන් මෙනි.
                                   " ඔව් ඔව් ඉර හද වගේ අද දවස නම් මට හොදටම විශ්වාසයි. අද තමයි අවුරුදු හත ගෙවෙන අන්තිම දවස." මොහුගේ දෙනෙත පුරාම ඇත්තේ විශ්වාසයයි.
                                  "හරි තමුසෙට ඔය තරමටම විශ්වාස නම් අද මමත් ඉන්නවා තමුසෙත් එක්ක තමුසෙගෙ අංක හතේ වාසනාව උරගා බලන්න."
                                  " හරි හරි මම බොහොම කැමතියි." ඔහු සිනාව අතරින් පැවසුවේය.
                                  උන්මන්තකයෙකු දෙස බලන්නා වූ හැගීමකින් යුතුව තමා අසල සිටින මේ අපූරු මිනිසා දෙස විජේවීර මොහොතක් බලා සිටියේය. කලු පැහැති කලිසමකින් ද ලා නිල් පැහැයට හුරු කමිසයකින් ද එයට උඩින් දැමූ කබායකින් ද සැරසී සිටි මොහුගේ දෙපා දුඹුරු පැහැති පාවහන් යුගලකින් වැසී තිබිණි. අවුරුදු පනස් පහක පමණ පෙනුමැති මොහුගේ මුහුණ ඉතාමත් ප්‍රසන්නය. විජේවීරට මොහුව හමුවුණේ මෙයට වසර හතකදී මෙතැනදීමය. ඒ සත් වසර පුරාම සෑම මසකම හත් වන දින මොහු උදෑසන හතේ සිට රාත්‍රී හත වන තුරු මෙතැන රැදී සිටින්නේ රෝස මලකුත් අතැතිවය. අංක හතට මොහුගේ ජීවිතයේ ඇත්තේ සුවිශේෂී ඉඩකි. සත් වසකට ඉහතදී මේ නැවතුමේ දීම මාසයේ හත් වෙනි දිනෙක මොහුට කාන්තාවක මුණ ගැසිණි. උදෑසන හතට පැමිණෙන දුම්රියෙන් පැමිණි සිටි ඇගේ බැල්ම වචනය කියා පෑවේ ප්‍රේමය යැයි දයානන්දට සිතිණි. නැවත හමුවීමක් හෝ ආදරයක් ගැන නොකියාම ඇය ඔහුගෙන් සමු ගත්තාය. එදා සිට ඔහු තුළ හට ගත් ප්‍රේමය සදාතනික වී තවත් හත් වෙනි දිනෙක එලෙසින් ම ඇය හමුවේවියැයි තදින් ම විශ්වාස කළ මේ  තරුණ සිතැති මැදි වියෙහි ආදරවන්තයා බලා සිටින්නේ තම ප්‍රේමය මල් ඵල ගැන්වීමටය.
                               රාත්‍රී හතට ආසන්න වත්ම දුම්රිය ළගා වුණි. දම් පැහැති සාරියකින් සැරසී ඉදිරියට එන ඇය දෙස ඔහු බලා සිටියේ ජයග්‍රාහී හැගීමෙනි.
                                "එයා එනවා" ඔහු රෝස මල දෙස බැලීය. එය මැලවී ගොසිනි. අත් ඔරලෝසුව දෙස බැලූ ඔහු විනාඩි කිහිපයක් ආපස්සට කරකවා වේලාව හත ලෙස සකසා ගත්තේය. ඔහුගේ නෙත් මත තම දෙනෙත් රැදවූ ඇය මොහොතක් බලා සිට සිනාසුනාය.
                                "කවුද ඩාලිං ඔයා අදුරන කෙනෙක්ද?" ඇය පිටුපසින් පැමිණි පුද්ගලයා ඇසුවේ දයානන්ද දෙස බලමිනි.
                                "නෑ ඩාලිං දැකල පුරුදුයි වගේ. අපි යමු." දයානන්දට ඇසෙන නෑසෙන හඩින් තම සැමියාට පිළිතුරු දුන් ඇය ඔහුත් සමග පියවර මැන්නාය.
                                "තමුසෙගෙ අංක හත හරිම පුදුමයිනෙ" නෙත් අයා සියල්ල බලා සිටි විජේවීර තම මිත්‍රයා දෙසට හැරිණි. ගිලිහී යන සත් වස් වියැති තම ප්‍රේමය දෙස මන්දස්මතියකින් යුතුව බලා සිටින තම මිත්‍රයා ඉතා සොදුරු මිනිසෙකැයි විජේවීරට ප්‍රථම වරට සිතුණි.
                                "ඒත් අංක හත ගොඩාක් වාසනාවන්තයි." දයානන්ද තමාටම මුමුණා ගත් වග විජේවීරට නෑසිණි.       

0 comments:

Post a Comment

About

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න